ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රැදවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ තමරා අබේරත්න විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආරම්භ කළ බැංකු ගිණුම් 08 ක් ගැන විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළා.

පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ අදාළ නීතිඥවරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අදාල බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවයි.

වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී මෙම බැංකු ගිණුම් ව්‍යජ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර මෙම බැංකු ගිණුම් විවෘත කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය කියා සිටියා.

මෙම බැංකු ගිණුම් හරහා විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.