මෙම වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර මෙතෙක් අලු‍ත් කර නොමැති පුද්ගලයින් සහ ආයතන වෙත ආරක්ෂක අමාත්‍යාංශය විසින් තවත් අවස්ථාවක් ලබාදී තිබෙනවා.

ගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන, 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමට ලබාදී තිබූ කාලය පසුගිය ජනවාරි මස 31 දිනයෙන් අවසන් වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

එහෙත් මෙතෙක් ගිනි අවි බලපත්‍ර අලු‍ත් නොකරන ලද තැනැත්තන් සදහා තුවක්කු ආඥා පනතේ 22 වගන්ති ප්‍රකාරව පෙබරවාරි මස 10 වන දිනට පෙර දඩ මුදල් ගෙවා ගිනි අවි බලපත්‍ර අලු‍ත්කරවා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

එම දිනයට පෙර සිය ගිනි අවි බලපත්‍ර අලු‍ත් නොකරන සියලු‍ ගිනි අවි හිමිකරුවන් සඳහා තුවක්කු ආඥා පනතේ 22 වගන්තියේ විධි විධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.