අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරි දිනවල බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවල ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණුදීම සදහා සෙවීම් හා මුදවා ගැනීමේ කණ්ඩායම් මේ වනවිටත් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් උපකරණ සමග අදාළ ප්‍රදේශවල ස්ථාන ගත කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

ඒ අතරට යුද හමුදා කණ්ඩායම් 80ක්, නාවික හමුදා කණ්ඩායම් 125, ගුවන් හමුදා කණ්ඩායම් 22 ක්, පොලිස් කණ්ඩායම් 23 සහ සිවිල් ආරක්‍ෂක නිලධාරි කණ්ඩායම් 28 ක් ස්ථාන ගත කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ රාත්‍රී පොතුවිල් සිට කිලෝමීටර් 490ක් ගිනිකොණ දෙසින් කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

එය බටහිරට බරව වයඹ දෙසින් ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළගාවනු ඇතැයි අපේක්‍ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.