පුරප්පාඩු අනුව ඉදිරියේදී ගුරු සේවය සඳහා තවත් බඳවා ගැනීම් සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඉදිරියේදී විසිතුන් දහසක පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීම මඟින් පවත්නා ගුරු පුරප්පාඩු යම්තාක් දුරකට පුරවා ගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ.

ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී වාර්ෂිකව තවත් බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරන බවත් ඇය සදහන් කළා.

වතු පාසල් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සඳහා විසදුම් ලබා දීම පිළිබදව අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පල කළා.

වතු ආශ්‍රිත පාසල් හඳුනා ගැනීම, වතු පාසල් තුළ යටිතල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂාව සහ පාසල්වලට අයත් ඉඩම් තහවුරු කිරීම, පවතින ගුරු, විදුහල්පති සහ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ පුරප්පාඩු පිරවීම, සහ ගමනාගමන පහසුකම් සැපයීම පිළිබඳ මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.