නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටේ මේ මොහොතේ ප්‍රධාන මාතෘකාවයි.

ඒ අතරතුර ජනපති, අගමැති සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිගන්නා බව ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ බවද එහි සඳහන්.

ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපනඥයන්, නීතිඥයන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත විධිමත් යාන්ත්‍රණයක අධීක්ෂණය යටතේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී යෝජනා කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට නම් ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

සැකයක් හෝ අවිශ්වාසයක් සහිතව පරිවර්තනයක් සිදු කළ නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ස්මාර්ට් පුවරු, රූපවාහිනි සහ පරිගණක වැනි යටිතල පහසුකම් දෙමාපියන්ගේ මුදලින් නොව රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.