ගල්ෆ් කලාපයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මුල්කරගනිමින් ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් මතුව නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසුවේ ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විශේෂ අවධානයෙන් පසුවන බවයි.

දැනට බහුදින ධීවර යාත්‍රා 2,000ත් 2,500ත් අතර ප්‍රමාණයක්, ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපය සහ ජාත්‍යන්තර මුහුද ඇතුළු ඉන්දියන් සාගරයේ දෛනිකව ධීවර රැකියාවේ නිරතව සිටිනවා.

පවතින තත්ත්වය හේතුවෙන් මෙරට කිසිදු ධීවර යාත්‍රාවකට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

එසේ වුවද, ධීවර යාත්‍රා සහ කාර්ය මණ්ඩලයේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියා.

ඒ අනුව සෑමවිටම සාම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැකියාවේ නිරත වන ලෙසත් යුදමය කටයුතුවලට සම්බන්ධ බවට සැකකෙරෙන කිසිදු යාත්‍රාවක් හෝ වෙනත් කිසිදු ආගන්තුක නෞකාවක් හෝ යාත්‍රාවක් ආසන්නයට නොයන ලෙසටත් ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පැවසුවේ.

ධීවර රැකියාව සඳහා පිටත්ව යාමේදී සහ ආපසු පැමිණීමේදී සාමාන්‍යයෙන් භාවිතා කරන සුපුරුදු ගමන් මාර්ග ඔස්සේ පමණක් ගමන් කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දී සිටිනවා.