දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් දැරියක් සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මට්ටක්කුලිය ප්රදේශයේදී බස් රථයකින් බැස පාර මාරුවීමට ගිය වයස අවුරුදු 10ක දැරියක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එම බස් රථයටම යටවී දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචි දැරියක් බවයි පොලීසිය පැවසුවේ.
මහියංගණය - දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ කිලෝමීටර් 17 කණුව ආසන්නයේ සිදුවූ තවත් අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මහියංගණය දෙස සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ධාවනය වූ වෑන් රථයක් විරුද්ධ දෙසින් පැමිණි ත්රීරෝද රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි ගිරාඳුරුකෝට්ටේ පොලීසිය පැවසුවේ.
අදාළ ත්රීරෝද රථය පදවා ඇත්තේ එම කාන්තාවයි. ඇය දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයේ පදිංචිකාරිනියක්.
මේ අතර කොළඹ - හොරණ ප්රධාන මාර්ගයේ පොකුණුවිට හන්දිය ආසන්නයේ සිදුවූ තවත් රිය අනතුරකින් කිරිඇල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු පැදවූ යතුරුපැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාලමක ගැටී අනතුර සිදුව ඇති බවයි හොරණ පොලීසිය පැවසුවේ.
පාදුක්ක, මාදුලාව හන්දිය දෙස සිට ලියන්වල හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ගමන් කළ පදිකයෙකුගේ ගැටී තවත් අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පාදුක්ක පොලීසිය පැවසුවේ.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාදුක්ක ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර කොස්ගොඩ, අඹගහහන්දිය ආසන්නයේදී තවත් රිය අනතුරක් සිදුව තිබෙනවා.
ගෝනගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දිසාවෙන් පැමිණි පාපැදියක ගැටී එම අනතුර සිදුව ඇති අතර, එහිදී බරපතළ තුවාල ලැබූ පාපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කොස්ගොඩ පොලීසිය පැවසුවේ.
ගිරාඳුරුකෝට්ටේ, හොබරියාව ප්රදේශයේදී යතුරුපැදියක් සුනඛයෙකුගේ ගැටී තවත් රිය අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය ගිරාඳුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ගිරාඳුරුකෝට්ටේ පොලීසිය පැවසුවේ.
මාවතගම, උදානගම ප්රදේශයේදී ත්රීරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී තවත් අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී තුවාල ලැබූ ත්රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔහු වැලිකන්ද ප්රදේශයේ පදිංචිකරුවෙකු බව මාවතගම පොලීසිය පැවසුවා.




