රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා මහර බන්ධනාගාරයේ රැඳවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් දෙදෙනා ඊයේ පස්වරු 6 ට පමණ එම බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා, නවක රැඳවියන් රඳවා සිටින අටේ වාට්ටුවේ රැඳවු බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

මහර බන්ධනාගාර රෝහලට යාබද වාට්ටු අංක 7 සහ 8 වාට්ටු දෙකේ නවක රැඳවියන් සතියක පමණ කාලයක් රඳවා තැබෙනවා.

ඉන්පසුව එම රැඳවියන් එම බන්ධනාගාරයෙ වෙනත් වාට්ටු වෙත මාරු කරනු ලබන බවද බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවා.

මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙ වැඩිමහල් පුත්‍රයා ද රඳවා සිටින්නේ මහර බන්ධනාගාරයේ අටේ වාට්ටුවේයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය මගින් ඊයේ අත්අඩංගුවට ගැණුනු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා ලබන 09 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ සතොස ආයතනයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාවට අදාළවයි.