Published
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොලඹ මහාධිකරණය අද නියෝග කළා.
විත්තිකාර ඩේසී ෆොරස්ට්ට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්තවයක් තිබෙනවාද? යන කරුණ පිළිබඳ කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරියා මගින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව අද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
විත්තිකාරිය නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට එම වාර්තාව තුළින් වෛද්‍යවරු නිර්දේශ නිකුත් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා සඳහන් කළා.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඩේසි ෆොරස්ට්ට එරෙහිව තිබූ අධි චෝදනා වලින් ඇය නිදහස් කරන ලෙස නියෝග කළා.
ඒ අනුව නඩුවේ පලමු විත්තිකරු වූ යෝෂිත රාජපක්ෂට පමණක් සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කරමින් ඔහුට එරෙහිව නඩුව පවරා පවත්වාගෙන යෑමට කටයුතු කරව බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.
රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.




