නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු තීරයේදී ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශය නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා.

විෂයභාර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසා ඇත්තේ එම වාර්තාව මත පදනම්ව නිගමනයකට පැමිණ ඉදිරි පියවර ගත හැකි බවයි.

මෙම සිද්ධිය සිදුව තිබුණේ නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව පෙරේදා මෙහෙයුමක් දියත් කළ අවස්ථාවේදීයි.

මෙහිදී අදාළ කණ්ඩායම නාවික හමුදා නිලධාරීන්ගේ ගිනිඅවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමග නාවික හමුදාව අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබුණා.

ඒ අවස්ථාවේ නාවික හමුදා සෙබෙලෙකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකුගේ පිට ප්‍රදේශයට වෙඩිවැදී ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.