රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා "තාරකා " ( මේවර ) ඉබ්බන් ( Geocheloneelegans ) 25 දෙනෙකු නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ(02) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී සදහා අනුයුක්ත කර සිටි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සහ 45 හැවිරිදි වියේ පසුවන සුරතල් සතුන් අලෙවි කිරීමේ ව්‍යාපරයක නිරත වූවන් දෙදෙනෙකි.
ඔවුන් ඊයේ(02) උදෑසන 07.40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යාම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යානය වෙත පිවිසීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 02 තුළ තෙත රෙදි වලින් ඔතා මෙම ඉබ්බන් සගවා ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ සංරක්ෂණය කර ඇති සහ වද වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති මෙම ඉබ්බන් වනසත්ව හා වෘක්ෂලතා විශේෂ වල ජාත්‍යන්තර වෙළදාම පිළිබද සම්මුතියේ ( CITES ) ලැයිස්තු ගත කර ඇති ජාත්‍යන්තර වානිජ වෙළදාම සදහා තහනම් කර ඇති සතුන් විශේෂයකි.
මෙසේ අත් අඩංගුවට ගත් ගුවන් මගීන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ(02) දින ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් එළඹෙන 03/05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සහ මෙම ඉබ්බන් නිසි සත්කාර සහිතව දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දීමට ද නියෝග කර තිබෙනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමිනු ලබනවා.




