දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු දෙකෙන් පමණ පසු තැනින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදි මෙලෙස වැසි ඇති වුවත් පවතින අධික උණුසුම පහව යාමට තරම් එය ප්‍රමාණවත් නොවනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ අතර අද උදැසන 8යි 30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වී තිබෙන්නේ පොළොන්නරුවෙන්.
ඒ, සෙල්සියස් අංශක 35යි දශම එකක්. අනුරාධපුරයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34යි දශම 9ක්ද කුරුණෑගල උපරිම උෂ්ණත්වය 34යි දශම 8ක් ද වුණා.
උදැසන 8යි 30න් අවසන් වූ පැය 24 තුළ කොළඹ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33යි දශම 7 ක් වූ බවයි කාලගුණ වාර්තාවේ දැක්වෙන්නේ.




