දිවයිනේ ප්‍රදේශ කිහිපය සිදුවූ අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ කහවත්ත ඇළ - නාරම්මල මාර්ගයේ හතලිස්පහුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින්.

පොල්ගහවෙල පොලීසිය පැවසුවේ කහවත්ත දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පදිකයෙකුගේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

එහිදී බරපතල තුවාල ලැබූ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73 ක් වූ එම පදිකයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුකළ ත්‍රීරෝද රථ රියදුරා අත්අඩංගුවට ගත් බවයි පොල්ගහවෙල පොලීසිය පැවසුවේ.

මේ අතර බෝලාන - කොග්ගල්ල මාර්ගයේ සියඹලාගස්විල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් තවත් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔවුන් දෙදෙනා බැරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පාපැදිකරු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි අම්බලන්තොට පොලීසිය පැවසුවේ.

එලෙස ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71 ක් වූ පුද්ගලයෙක්.

වාරියපොල - ගෝනාගම මාර්ගයේ වැලෑගල ප්‍රදේශයේදී සිදුවූ තවත් අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එම මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් පදිකයෙකුගේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි වාරියපොල පොලීසිය පැවසුවේ.

එහිදී ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මහකුඹුක්ගොල්ලෑව - දුටුවැව මාර්ගයේ වාරක්කෑව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින්ද පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පූනෑව පොලීසිය පවසනවා.

පූනෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අධික වේගයෙන් ධාවනය කළ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැනක ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර කොක්කඩිචෝලය, මුනෙක්කාඩු ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් කාන්තාවක් ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ අනෙක් කාන්තාවන් දෙදෙනා මහිලඩතිව් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි කොක්කඩිචෝලය පොලීසිය පැවසුවේ.

රත්තොට, කයිකාවල ප්‍රදේශයේදීද කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

රත්තොට පොලීසිය පැවසුවේ එම කාන්තාව නිවස අසල තිබූ ඇළකට වැටී එලෙස ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි.