යාපනය, කන්කසන්තුරය තිස්ස විහාරය පවතින ඉඩම හැර විහාරය වටා පවතින අනෙකුත් ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉඩම් හිමියන් හා යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා අතර සාකච්ජාවක් පවත්වා තිබෙනවා.

ඒ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.

අදාළ සාකච්ජාවේදී විහාරස්ථානය පවතින ඉඩම හැර විහාරස්ථානය වටා පවතින අනෙකුත් ඉඩම්වල හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂා කොට අදාළ වාර්තාවක් වගකිව යුතු ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන බවට දිස්ත්‍රික් ලේකම්වරයා තමන්ට පැවසු බවයි ඉඩම් හිමියන් පැවසුවේ.

සාකච්ජාවෙන් අනතුරුව ඉඩම් හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සදහන් කළේ විහාරය පවතින ඉඩම හැර අදාළ සීමාවේ පවතින අනෙකුත් ඉඩම් නිදහස් කිරීමට කටයුතු කරන බවට දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් සඳහන් නොකළ බවයි.

තමන් තමන්ගේ ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා වසර තුනක කාලයක් විවිධ ආකාරයේ විරෝධතා පැවැත්වුවත් මේ දක්වා ඒ වෙනුවෙන් ස්ථිර විසදුමක් නොලැබු බැවින් සැළසුම් කොට ඇති පරිදි එළැඹෙන 03 වැනිදා ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලා විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බවත් ඉඩම් හිමියන් සඳහන් කළා.

තමන්ගේ ඉඩම් විහාර සීමාවකට පවරා ගැනීම තුළින් තමන් අපහසුතාවයට පත්ව ඇති බවත්, ගැටළුව වෙනුවෙන් ස්ථිර විසදුමක් ලබාදිය යුතු බවටත් ඉඩම් අයිතිකරුවන් ඉල්ලා සිටිනවා.

තිස්ස විහාරය වෙත පවරාගෙන ඇති සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් පසුගිය සමයේ අවස්ථා රැසකදි විරෝධතා පැවැත්වු අතර, උතුරේ දේශපාලන නියෝජිතයින්ද එම විරෝධතාවයන්ට එක්ව සිටි ආකාරය දැකගත හැකි වුණා.