මෑතකදී නරාහෙන්පිට ප්‍රදේශයේදී සිය වාහනයට වෙඩි තබා එහි තිබූ ලිපිගොනු කිසියම් පිරිසක් පැහැරගෙන ගිය බව සඳහන් කරමින් තුසිත හල්ලොළුව මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව සිදු කරන විමර්ශනයක සැකකරු වශයෙන් නම් කර සිටින ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

මෙම නඩුකරය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව මහතා අධිකරණය හමුවේ පෙනී පෙනී සිටියේ නැහැ.

ඔහුගේ නීතිඥවරයා අධිකරණ හමුවේ සඳහන් කළේ තම සේවාදායකයා අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බවයි.

ඊට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරි දිනයේ ගොනු කරන බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

එම අවස්ථාවේදී තුසිත හල්ලොලුව මහතාගේ ඇපකරුවකුද අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහෙත් එම ඇපකරු මෙම නඩුකරයට අදාළ ඇපකරු නොව තුසිත හල්ලොලුව මහතාගේ වෙනත් නඩුවකට අදාළ ඇපකරුවකු බව අධිකරණය හමුවේ කරුණු අනාවරණය වුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව සැකකරුට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවා.