ඉදිරි දස වසරක කාලය සදහා මහනුවර ශ්රී දළදා මාලිගාවේ ගිහි භාරකාරිත්වය හිමි වන්නේ කාටද යන්න තීරණය කෙරෙන නව දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ නිලවරණය අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ සඳහා මෙවර අපේක්ෂකයින් හත්දෙනෙකු ඉදිරිපත් වන බව දැනටමත් ප්රකාශ කර ඇති බැවින් මෙවර දියවඩන නිලමේ නිලවරණය උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවටයි බොහෝ දෙනා අනාවැකි පළ කරන්නේ. හිටපු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල, කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ. ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක ඒ අතරින් ප්රධානතම අපේක්ෂකයින් තිදෙනෙක්.
මහනුවර ශ්රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ධුරයේ කටයුතු කළ ප්රදීප් නිලංග දෑල මහතාගේ ධුර කාලය පසුගිය සැප්තැම්බර් මස 07 වනදායින් අවසන් වුණා. ඒ අනුව නිලවරණය පැවැත්වෙන තෙක් වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස ප්රදිප් නිලංග දෑල මහතාවම පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගනු ලැබුවේ මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහනායක ස්වාමීන් වහන්සේලාගේ නිර්දේශ අනුවයි.
දියවඩන නිලමේවරයාගේ ධුර කාලය නිමා වීමෙන් පසු මාස තුනක් ඇතුළත නව දියවඩන නිලමේවරයෙකු පත් කළ යුතු වනවා. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්රධානත්වයෙන් සිදු කෙරෙන එම නිලවරණයේදී ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබන පිරිස 318කට ආසන්නයි.
භික්ෂූන් වහන්සේලා 130කට ආසන්න පිරිසක්, ගිහි භාරකරුවන් 14, පැරණි මහනුවර රාජධානියට අයත්ව තිබූ ප්රදේශවල වර්තමාන දිස්ත්රික් හා ප්රාදේශීය ලේකම්වරුන් සහ බස්නායක නිලමේවරුන් 37 දෙනෙකු එම පිරිසට අයත් වනවා.
කෙසේවෙතත් අදාළ ප්රදේශයන්හි ප්රාදේශීය ලේකම්ධුරය දරන කාන්තාවන්ට සහ අන්යාගමික පුද්ගලයින්ට දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ. ඒ අනුව මෙවර ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබන පිරිස 261කට ආසන්න වනු ඇති බවයි වාර්තා වන්නේ.
විහාර දේවාලගම් පනත අනුව අද පස්වරු 02.00ට මහනුවර බෞද්ධ මන්දිරයේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්රධානත්වයෙන් දියවඩන නිලමේ තෝරාපත් කර ගැනීමේ නිලවරණය පැවැත්වීමට නියමිතයි. ඒ සදහා කැදවීම් ලැබීමට සුදුසුකම් ලබා ඇති සියලු දෙනා වෙත දැනුම්දීම් සිදුකර ඇති බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය සදහන් කළේ. අද පැවැත්වෙන දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ නිලවරණය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා.
විහාර දේවාලගම් පනත අනුව දියවඩන නිලමේ තනතුර සදහා ඉදිරිපත් විය හැක්කේ වයස අවුරුදු 18ට වැඩි, අවුරුදු 70ට අඩු අධිකරණයකින් වරදකරුවෙකු වී නොමැති සිංහල බෞද්ධයින්ට පමණයි.
ඒ අනුව නිලවරණය සදහා ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති දෙදෙනෙකු විසින් දියවඩන නිලමේ නිලවරණයට ඉදිරිපත්වීම සදහා අපේක්ෂා කරන පුද්ගලයෙකුගේ නම් යෝජනා ස්ථිර කළ යුතු වනවා.
එලෙස අපේක්ෂකයින් එක් අයෙකුට වැඩි පිරිසක් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වුවහොත් ඡන්ද විමසීමක් පවත්වා නව දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගැනීම සිදුකළ යුතු වනවා.




