වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී පසුගිය 14 වනදා වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් 04 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

ඒ අනුව කඩවත, සුරියපාළුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 540 ක් සමඟ එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 100 ක් සමඟ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සේදවත්ත සහ වෙහෙරගොඩැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ වෙඩි තැබීමේ වෙඩික්කරු ගිනි අවිය ද රැගෙන පලාගිය ත්‍රිරෝද රථයේ රියැදුරු බවත්, ඔහුට සහාය දක්වා ඇති සැකකාරිය බවත් පොලීසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැඩිදුර විමර්ශන සදහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් දින 07 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර කඩවත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇප මත මුදාහැරීමෙන් අනතුරුව විදෙස්ගත වු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2022 වසරේ මාර්තු 24 වනදා අදාළ සැකකරු යතුරු පැදියකින් පැමිණ පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් තිබූ බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ කඩවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබූ බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව සැකකරු විදෙස් රටකට පලා ගොස් ඇති අතර අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් විදෙස්ගතව සිටි ඔහුට රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කටාර් රාජ්‍යයේ සිට යළි දිවයිනට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.