‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙම මස අවසානයේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ විවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ ලබා ගන්නා දත්ත හා තොරතුරු මත පදනම්ව තක්සේරුව තහවුරු කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසුව මෙම අවසන් පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ කමිටු වාර්ථාව නිකුත් කරන බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ අදාළ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් ඉදිරිපත් කරන ලද මෙම තක්සේරු වාර්ථාව, ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහය ඇතිව රජය මෙහෙයවන විධිමත් රාමුවක් යටතේ සකස් කරමින් තිබෙනවා.

ඒ මඟින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු වූ දේපළ හානි, ආර්ථික බලපැම සහ ප්‍රතිසාධන අවශ්‍යතා ගැඹුරින් ඇගයීමට ලක් කිරීම සිදු කරනු ඇති.

එයින් ලබාගත් මූලික විශ්ලේෂණයන්ට අනුව, මෙම සුළි කුණාටුව හේතුවෙන් නිවාස, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන, ජල සම්පාදන සහ වෙළඳ ව්‍යාපාර ඇතුළු සමාජීය, නිෂ්පාදන සහ යටිතල පහසුකම් යන අංශ සියල්ල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි සදහන්.

විශේෂයෙන්ම මහනුවර, බදුල්ල, නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්ක මේ හේතුවෙන් වැඩිම හානියක් සිදු වූ ප්‍රදේශ ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

මෙම පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ ක්‍රියාවලිය මගින් මධ්‍යකාලීන සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විධිමත් මඟපෙන්වීමක් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා. ආපදාවලට ඔරොත්තු දෙන සංවර්ධන ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ ඇති හැකියාවන් හා ධාරිතාවන් ශක්තිමත් කිරීමට ද එය ඉවහල් වනු ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ.

‘'Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකායේ පුළුල් වැඩපිළිවෙළට සමගාමීව, පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දැවැන්ත විනාශය හමුවේ, අවශ්‍ය පිළියම් යෙදීම සඳහා වන ජාතික ප්‍රතිචාර යාන්ත්‍රණය සම්බන්ධීකරණය කිරීම සහ බලපෑමට ලක් වූ ප්‍රදේශ සඳහා විධිමත් ප්‍රතිසංස්කරණ සැලැස්මක් සකස් කිරීම අරමුණු කර ගෙනයි මෙම කමිටුව පිහිටුවනු ලැබුවේ.

මෙහිදී 2025 නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ දරුණු කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදු වූ අලාභ හානි පිළිබඳ මූලික සොයාගැනීම් දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී ප්‍රතිසංස්කරණ සහ නැවත ගොඩනැඟීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාවය දිය යුතු ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණ සැලසුම් සාක්ෂි මත පදනම් වූ සහ ජාතික ආපදා ඔරොත්තු දීමේ උපාය මාර්ග සමඟ සමපාත වන බව සහතික කිරීම සඳහා, ඇගයීම් සොයාගැනීම් නිවැරදිව තහවුරු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර තිබෙනවා.