උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් අද දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල පස්වරු 01.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවත්, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ නායයෑම් රතු නිවේදන හමුවේ දිස්ත්‍රික්ක 3 කට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3 ක පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර බඹර බැද්ද ප්‍රදේශයේ පවුල් 40ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෝවිල් කන්ද ප්‍රදේශයේ පවුල් 02ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ කළුගල්තැන්න ප්‍රදේශයේ පවුල් 05ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවයි.

පවතින වැසි තත්තවය හේතුවෙන් පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර කොටසේ ගමන් ගන්නා රියදුරන් දැඩි විමසිලිමත්ව රිය දාවනය කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.