පළාත් පාලන මැතිවරණයෙන් පසු කොළඹ මහනගර සභාවේ මංගල රැස්වීම ලබන 16 වන දින පැවැත්වෙන බවට නිවේදනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසින්.

ඒ අනුව ලබන 16 වන දින උදෑසන 09.30ට කොළඹ මහනගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වීමට නියමිතයි.

නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම, නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේ පළමු කාර්යය ලෙස එහිදී සිදුවනු ඇති.

පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පූර්ණ බහුතරයක් නොලැබුණු බැවින් නගරාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත් වීමට නියමිතයි.

ඒ, ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙකම නගරාධිපති අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කර තිබීම හේතුවෙන්.

මේ අතර මෙම ගැසට් පත්‍රයට අනුව, කොළඹ මහනගර සභාවට අමතරව තවත් පළාත් පාලන ආයතන 20ක මංගල රැස්වීමේ දිනයන් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ මස 30 වනදා දක්වා එම කටයුතු සිදුවනු ඇති.