අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ සිදුකළ පැමිණිල්ලකට අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම නඩුව අද කැදවනු ලැබුවේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග.එස්. බෝදරගම මහතා ඉදිරියේයි.
එහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.
නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව පැමිණිල්ල යළි ජුලි මස 30 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්රාත්වරයා එදිනට එම කටයුතුවල ප්රගතිය දැනුම් දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.
2016 වසරේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් එක්.ආර්.කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම විමර්ශනය ආරම්භ කර තිබුණා.




