නිට්ටඹුව, මීඅබේවත්ත පාර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සන්තකව සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් වන, දැනට විදේශගතව සිටින රාජපක්ෂ ආරච්චිගේ වරුණ ප්‍රභාත් රාජපක්ෂ නොහොත්ිඩුබායි වරුණ‘ සහ දැනට බන්ධනාගාරගතව සිටින කරුණානායක පතිරන්නැහැලාගේ දිනිඳු සංජීව නොහොත්ිලේනා‘ නමැත්තාගේ ප්‍රධාන පෙළේ අනුගාමිකයන් ලෙස මෙම සැකකරුවන් කටයුතු කර ඇති බවටයි ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

අදාළ සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවේ යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

ඒ, ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 344 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 688 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදුන් බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.