නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන කණ්ඩායම් මේ වනවිට ප්‍රදේශ කිහිපයකට පිටත්ව ගොස් තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සදහා ඊයේ දිනයේම පොලිස් කණ්ඩායම් 10 ක් පත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.

එම පොලිස් කණ්ඩායම් අතරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් ද ඇතුළත්.

මේ අතර තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණු නීතිඥවරයා සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළ වනවා.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥවරයෙකු බවටද වාර්තා වනවා.

ඝාතනයට ලක්වූ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සහ බිරිද ඊයේ පස්වරුවේ වෙඩිතබා ඝාතනය කෙරුණේ අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලක් තුළදීයි.

අදාළ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන් පසුව මෝටර් රථයකින් පලාගොස් තිබෙනවා.