නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු අද අලුයම චීනය වෙත පිටුවහල් කර තිබෙනවා.
ඔවුන් අතරින් 06 දෙනෙකු චීන ජාතික කාන්තාවන් බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
මෙම චීන ජාතිකයන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ, අනුරාධපුරය ප්‍රදේශයේ පරිගණක ක්ෂේත්රයේ රැකියාවල නිරත වී සිටියදී ඉකුත්දා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ නියෝග මත ඔවුන් මෙරටින් පිටුවහල් කරන තෙක් වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටියා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඔස්සේ එරටට මේ පිළිබද දැනුවත් කිරීමෙන් පසුව , මෙම පිරිස රැගෙන යාම සදහා විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.
එම ගුවන් යානයෙන් එරට වෛද්‍යවරුන් පිරිසක් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.




