රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වී ඇතැම් සදහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන හිරාන් විචක්ෂණ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

නීතිඥ දිනේෂ් සිල්වා මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම තුළින්
පෙත්සම්කරු කියා සිටින්නේ "පදිංචි කරුවන් ආරක්ෂා කිරීම" නමින් වූ පනත් කෙටුම්පතක් රජය විසින් ඉකුත් ජනවාරි මස 20 වනදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයක් ඇතුළත් කර ඇති බවයි.

කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව රජය විසින් ප්‍රකාශ කළද ඒ තුළින් ඉඩම් හිමියන්ට සහ නිවාස හිමියන්ට අගතියක් සිදුවන බවත් පෙත්සම්කරු කියා සිටි.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අංක 01 සිට අංක 14 දක්වා වූ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 යන ව්‍යවස්ථා මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් ද උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු චෝදනා කළා.

ඒ අනුව අදාළ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.