ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

එමෙන්ම නැගෙනහිර, මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකියි.

මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල පස්වරු දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.