බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටුකරදීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩුවේ චෝදනාවන්ට වරදකරු කෙරුණු තමන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් අහෝසි කර එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑල පිළිබඳ විභාග සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.
මෙම ඇපෑල අද මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, අමල් රණරාජා යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විත්තිකාර අභියාචක ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් මෙම විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥ කීර්තිය තිලකරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා විරුද්ධ වූයේ නැත.
ඒ අනුව අදාල අභියාචනා පිළිබඳ විභාගය සැප්තැම්බර් මස 11, 16 සහ 25 යන දිනවලට කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළා.
බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටු කර දීම වෙනුවෙන් ජී. මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ගොනු කර තිබූ නඩුවේ චෝදනා කීපයකට වරදකරු කෙරුණු ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කොට එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමටද නියෝග කර තිබුණා.
ඊට අමතරව රුපියල් මිලියන 25 ක දඩයක් ද මහාධිකරණය විසින් හිටපු අමාත්‍යවරයාට නියම කළා.
අදාල චෝදනාවලට තමන්ව වරදකරු කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බව ඇපෑලක් ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
එබැවින් එම තීන්දුව බල රහිත කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු අමාත්‍යවරයා සිය ඇපෑල තුළින් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.