උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් අද දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල පස්වරු 01.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා, පැවසුවේ.

පවතින වැසි තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේනවා.

ඒ අනුව මහනුවර, මාතලේ, රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හතරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ඉදිරි පැය 24 සදහා බල පැවෙත්වන පරිදි මෙම නායයෑම් රතු නිවේදන නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා පැවසුවේ.

එම ප්‍රදේශවල ජීවත්වන මහජනතාව ඒ පිළිබද සැළකිලිමත්ව කටයුතු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා වැඩි දුරටත් සදහන් කළේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මැදිහව හදිස්සි මෙහෙයුමු මැදිරිය ක්‍රියාත්මක කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

මේ අතර මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර තමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආසන්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.