ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව, මෙම් වසරේ පාසල්වල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කළා.
ඒ අනුව 2026 වර්ෂයේදී පළමු ශ්‍රේණියට ක්‍රියාත්මක කිරිමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු පෙර උපදෙස් ලබා දුන් පරිදි ජනවාරි 29 වනදා ආරම්භ කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
06 ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිත නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දමන බවද එම නිවේදනයේ සඳහන්.
2026 වසර තුළ 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෛනික කාල පරිච්ඡේද සංඛ්‍යාව 08ක් ලෙස සංශෝධනය කළ යුතු අතර එක් කාලඡේදයක් විනාඩි 40ක් විය යුතුයි. ඒ අනුව පෙර වසරවල ක්‍රියාත්මක වූ ආකාරයටම කාලසටහන් සකස් කළ යුතු බවද එහි සඳහන් කර තිබෙනවා.
06 ශ්‍රේණිය සඳහා පෙර වර්ෂවලදී ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයම 2026 වසර සඳහා ද ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු එම නිවේදනයේ දක්වා තිබෙනවා.
ඒ අනුව 06 ශ්‍රේණිය සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළ පොත් ප්‍රධාන වශයෙන්ම භාවිතයට ගනිමින් අධ්‍යාපන කටයුතු සිදු කළ යුතු වනවා.
පසුගිය වසරේ භාවිත කළ පෙළ පොත් සිසුන් වෙතින් එකතු කර ඒවා නැවත 06 ශ්‍රේණියේ සිසුන් වෙත බෙදා හැරීම සම්බන්ධ උපදෙස් සියලු විදුහල්පතිවරුන් වෙත නිකුත් කරනු ලබන බවද එම නිවේදනයේ දක්වා තිබෙනවා.
මේ අතර, නව ප්‍රතිසංස්කරණයට අදාළ මොඩියුල පිළිබඳ නියමු ව්‍යාපෘතියක් මෙම වසරේදී පළාත් කිහිපයක ක්‍රියාත්මක කිරීමට යෝජිත බවත් ඒ පිළිබඳ විස්තර පසුව දැනුම්දෙනු ලබන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ මෙම නිවේදනයේ දැක්වෙනවා.
06 ශ්‍රේණිය සඳහා පිළියෙළ කරනු ලැබ ඇති මොඩියුල නැවත සමාලෝචනය කර ඉදිරි වර්ෂයේදී සුදුසු පරිදි භාවිත කරනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළ ගුරු පුහුණු කටයුතු මෙම වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.




