මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ රාත්‍රි පැවති එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුවට පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ සියළු දෙනා දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 181 ක්.

එහිදී ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ නායක මිචෙල් මාෂ් පන්දු 27කදී ලකුණු 54 ලබා ගත් අතර ට්‍රැවිස් හෙඩ් පන්දු 29 කදී ලකුණු 56ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත ලකුණු 37කට කඩුළු 3 ද දුෂ්මන්ත චමීර ලකුණු 36කට කඩුළු 2ක්ද දවා ගැනීමට සමත් වුණා.

ජයග්‍රාහී ලකුණු 182 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 184 ක් රැස්කරමින් තරගය ජය ගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක එහිදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව සියයක්.

පන්දු 52 කදී ශතකය රැස් කළ නිස්සංකගේ ඉනිමට අලංකාරවත් හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වුණා.

ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරග අතරින් තරගයකදී වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා බවට ද පැතුම් නිස්සංකගේ නම සටහන් වුණා.

ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ඔසවා තැබීමට කුසල් මෙන්ඩිස් සහ පවන් රත්නායක පිත්තෙන් දැක්වූ දක්‍ෂතාද විශිෂ්ටයි.

ඒ අනුව කුසල් මෙන්ඩිස් පන්දු 38කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 51ක්. පවන් රත්නායක පන්දු 15කදී නොදැවී ලකුණු 28 ක් රැස් කළා.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමග මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත්වීම විශේෂත්වයක්.