කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීමට ගෙන ඇති තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

මෙම පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ, සෝභිත රාජකරුණා සහ සම්පත් විජයරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

ඒ අනුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසකට විරෝධතා ගොනු කිරීම සඳහාද අධිකරණය විසින් කල් ලබා දුන්නා. ඉන් අනතුරුව අදාල පෙත්සම විභාගය සඳහා ඔක්තොබර් මස 31 වෙනදා කැඳවීමටද නියම වුණා.

පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සිය සේවාදායකයාගේ පක්ෂ කාර්යාලයේ දේශපාලන කටයුතුවල නිරතව සිටියදී ඉකුත් අප්‍රේල් මස 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගත් බව සඳහන් කළා.

ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට කටයුතු කළ බවත් එසේ රඳවා ගැනීමට හේතු වූ කරුණු පොලිසිය විසින් තම සේවා දායකයාට පැහැදිලි කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

2006 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වසර 20කට පසුව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම පිළිගත නොහැකි බවත් ඒ තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂී හේරත් මහත්මිය සඳහන් කළේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීමට පුද්ගලයන් මැලිකමක් දැක්වීම නිසා එම විමර්ශන ගොනුව මෙතෙක් කල් වසා දමා තිබු අතර මේ වන විට අදාළ සාක්ෂිකරුවන් සාක්ෂි දීමට ඉදිරිපත් වී සිටින බැවින් ඊට අදාළව විමර්ශන ආරම්භ කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.