ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද උදෑසන දානය ලබාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ උදෑසන සහ දහවල් උන් වහන්සේ බන්ධනාගාරයෙන් ලබාදෙන දානය ප්‍රතික්ෂේප කර තිබුණා.

ත්‍රිකුණාමලය සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයේ ඉදිකිරීමක් සම්බන්ධ සිද්ධියකට අදාලව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් සහ තවත් පුද්ගලයින් පස් දෙනෙකු ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.

ඒ අනුව එම පිරිස ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැදවූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

භික්ෂූන් වහන්සේ සිව් නම වෙනම සිර මැදිරියකත් අනෙක් පිරිස වෙනත් සිරමැදිරිවලත් රඳවා තිබෙනවා.

භික්ෂූන් වහන්සේ සිව් නමට බන්ධනාගාරය තුළදි විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවද බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඊයේ දානය වැළඳීම ප්‍රතික්ෂේප කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.