ප්‍රධාන බන්ධනාගාර කිහිපයක අධිකාරීවරුන් ස්ථාන මාරු කිරීමට එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින්, මහර, බෝගම්බර, බූස්ස ඇතුළු බන්ධනාගාර කිහිපයක අධිකාරිවරුන් එලෙස ස්ථාන මාරු කරනු ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
ඒ අනුව මහර බන්ධනාගාර අධිකාරිවරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ලෙස ස්ථාන මාරු කරනු ඇති බවයි වාර්තා වුණේ.
බෝගම්බර බන්ධනාගාර අධිකාරිවරයා බන්ධනාගාර මූලස්ථානය වෙත ස්ථාන මාරු කිරීමට ද එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වුණා.
එලෙස ප්‍රධාන බන්ධනාගාර කිහිපයක අධිකාරිවරුන් ස්ථාන මාරු කිරීමට අවධානය යොමු වී ඇත්තේ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ලබන මාසයේදී විශ්‍රාම යාමද සැලකිල්ලට ගනිමින් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රති සන්ධාන කිරීමේ අරමුණ ද පාදක කර ගනිමින් වඩාත් සුදුසු නිලධාරින් අදාළ බන්ධනාගාරවල ඉහළ පුටු සඳහා ස්ථාන මාරු කිරීමටයි එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත්තේ.
මේ අතර සියලු බන්ධනාගාර අධිකාරිවරුන් හෙට දිනයේ කොළඹට කැඳවා තිබෙනවා.
ඒ, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 08.30ට අධිකරණ අමාත්‍යංශයේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.
තවත් සාකච්ඡාවක් හෙට පස්වරු 02.30ට බන්ධනාගාර මූලස්ථානයේදී පැවැත්වෙනවා.
එම සාකච්ඡාව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ඔහු එම තනතුරට පත් වීමෙන් පසු සියලු බන්ධනාගාර අධිකාරිවරුන් කොළඹට ගෙන්වා සිදු කරන පළමු සාකච්ඡාව මෙය බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.