වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා පත් කර තිබෙනවා.

ඒ, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගැනීම හේතුවෙන්.

නිෂාන් ධනසිංහ මහතා මීට පෙර ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර වසර කිහිපයකට පෙර ඔහු රේඛීය අමාත්‍යාංශය වෙත මාරු කෙරුණා.

ඒ අනුව ඔහුගෙන් හිස් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුර සදහා එවක සිටි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පත් කළා.

සිරකරුවන් නිදහස් කිරීමේ සිද්ධියකට අදාළව පසුගිය සමයේ ඔහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරියා.

ඒ අනුව තුෂාර උපුල්දෙණිය මහතා අනිවාර්ය නිවාඩු යැවීමටයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පියවර ගනු ලැබුවේ.

එවන් පසුබිමක් තුළ එම ධුරයේ වැඩබැලීම සදහා අමාත්‍යාංශ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතා පත් කෙරුණා.