“බීමත්ව රිය ධාවනය කළහොත් රුපියල් ලක්ෂ 05ක දඩයක් හෝ අවුරුදු දෙකක සිරදඬුවමක්” ක්‍රියාත්මක බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පුවත අසත්‍ය පුවතක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

දැනට පවතින නීතිය අනුව බීමත්ව රිය ධාවනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.

ඒ අනුව රුපියල් 25,000 සිට රුපියල් 30,000 දක්වා දඩයකට හෝ මාස තුනකට වැඩි නොවන කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීම හෝ දෙකම හෝ රියදුරු බලපත්‍ර මාස 12කට වැඩි නොවන කාලයක් අත්හිටුවීම කළ හැකි වනවා.

එවන් පසුබිමක් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පළ කර සමාජ ගත කරන පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.