බන්ධනාගාර කිහිපයක ඉහළ නිලධාරීන් ස්ථාන මාරු කර තිබෙනවා.

ඒ අනුව විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙක්, බන්ධනාගාර අධිකාරීවරුන් 09 දෙනෙකු සහ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් තිදෙනෙක් ස්ථාන ස්ථාන මාරුකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත සහ මාධ්‍ය ප්‍රකාශක ජගත් චන්දන මහතා පසුගියදා විශ්‍රාම යාම සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව පළමුව බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස ඒ.සී. ගජනායක මහතා පත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව ඉහළ බන්ධනාගාර නිලධාරීන් 14 දෙනෙකු මෙලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

ඒ අනුව බූස්ස බන්ධනාගාර නව අධිකාරීවරයා ලෙස ස්ථාන මාරු කර ඇත්තේ මීගමුව බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ ජීවක ප්‍රනාන්දු මහතායි.

බූස්ස බන්ධනාගාරයේ අධිකාරි ඩබ්ලිව්.ඩබ්ලිව්.කේ. ඩෙප් මහතා ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

අගුණුකොලපැල්ල බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස ගාල්ල බන්ධනාගාර අධිකාරී එච්.එම්.පී. හෙන්නායක මහතා ස්ථාන මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී රජිව් සිල්වා මහතා බන්ධනාගාර මූලස්ථානය වෙත ස්ථාන මාරු කර තිබෙනවා.

පර්යේෂණ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී එස්.එල්. විජේසේකර මහතාද ස්ථාන මාරු කර ඇත්තේ බන්ධනාගාර මූලස්ථානය වෙතයි.

වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ලෙස පත් කර ඇත්තේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරී ඊ.එම්.එස් මහානාම මහතා බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

කළුතර බන්ධනාගාර අධිකාරී කේ.බී.ඒ. උදය කුමාර මහතා කුරුවිට බන්ධනාගාර අධිකාරිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

මහර බන්ධනාගාර අධිකාරී ආර්.එස්. මහානාම මහතා වටරැක බන්ධනාගාර අධිකාරීවරයා ලෙසයි ස්ථාන මාරු කර ඇත්තේ.

ඒ අනුව වටරැක බන්ධනාගාර අධිකාරී එච්.එම්.එස්.එන්. උපුල්දෙණිය මහතා කළුතර බන්ධනාගාර අධිකාරිවරයා ලෙස ස්ථාන මාරුකර තිබෙනවා.