මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම නිරීක්ෂණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එම ගැටලුව යථාවත් කර ගැනීම සඳහා SL CERT සහ ICTA ආයතන මඟින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේ වෙතත් ඒ අතරතුර වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලිතාවක් නිරීක්ෂණය වීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් අනුව අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය 09 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශ මට්ටමින්ද අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.