නීතිවිරෝධී ලෙස ඩීසල් තොග රැස්කර සන්තකයේ තබාගෙන ඒවා මුදලට අලෙවි කළ සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් බියගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

එහිදී ඩීසල් ලීටර් 19,060 ක් අඩංගු බවුසර් රථ දෙකක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙයියන්තුඩුව, තිහගොඩ සහ නෙළුම්දෙණිය ප්‍රදේශවල පදිංචි සැකකරුවන් සිව්දෙනෙක්.

ඔවුන් විසින් බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් ගන්නා ලොරි රථ, ටිපර් රථ හා ප්‍රයිමුවර් රථ වැනි වාහනවලට මුදල් ලබාදී එම රථවල ටැංකිවලින් ඩීසල් ලබාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස ලබාගන්නා ඩීසල් සැකකරුවන් විසින් සකස් කර ඇති ටැංකිවලට ගබඩා කර ඒවා අළෙවි කර තිබෙනවා.

වාහනවලින් ඉන්ධන ලබාගැනීමට යොදාගත් මෝටර් සවිකර ඇති බට 2ක්, යකඩ බැරල් 16ක් හා රුපියල් තුන් ලක්‍ෂ අසූ එක් දහසක මුදලක්ද එහිදී සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා බියගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.