දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඩුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.
අග විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභියාචනා පෙත්සම් විභාගයට ගැනේ.
මෙහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාට එරෙහිව නිසි ප්‍රසම්පාදන පටිපාටියට පටහැනි ලෙස ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීම , බෙදා හැරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා එල්ල කර තිබූ බව පෙන්වා දුන්නා.
ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීම සහ බෙදා හැරීමේ ක්‍රියාවලියට සිය සේවා දායකයා සම්බන්ධ නොමැති බවත් එම කටයුතු සිදු කිරීම සඳහා  සතොස ආයතනයේ ප්‍රසම්පාදන අංශයක් වෙනම තිබෙන බවත් එම ආයතනයේ සභාපතිවරයා එහි සාමාජිකයෙකු නොවන බවත් ඔහු සඳහන් කළා.
මෙම ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීමේ ණයවර ලිපිය විවෘත කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබෙන්නේ සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අංජන නිශ්ශංක මහතා බවත් භාණ්ඩ මිලදී ගැනීමේ සැපයුම්කරු තෝරාගෙන තිබෙන්නේ ප්‍රසම්පාදන කමිටුව විසින් බවත් ඔහු පෙන්වා දුන්නා.
අදාල ණයවර ලිපියට පළමු අත්සන යොදා තිබෙන්නේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ආසිරි ප්‍රනාන්දු මහතා වන අතර දෙවන අත්සන යෙදීම පමණක් මෙම විත්තිකරු විසින් සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
මෙහිදී විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ප්‍රශ්නයක් මතු කරමින් මෙම නඩු විභාගයේදී ප්‍රසම්පාදන කමිටුවවේ සාමාජිකයින් සාක්ෂියට කැදවා තිබේ දැයි ප්‍රශ්න කළා.
 ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ ශබ්රි මහතා මෙම ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයින් මහාධිකරණ නඩු විභාගයේදි සාක්ෂිකරුවන් ලෙස පැමිණිල්ල විසින් කැදවීමට කටයුතු නොකළ බව සඳහන් කළා.
මෙම පුද්ගලයින් සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණද ඔවුන්ගේ සාක්ෂි කැඳවීමට කටයුතු නොකළ බවත් එසේ ඔවුන් සාක්ෂියට කැදෙව්වා නම් සත්‍ය අනාවරණය වන නිසා ඔවුන් සාක්ෂියට නොකැදවා සිටීමට පැමිණිල්ල කටයුතු කළ බවත් ඔහු කියා සිටියා.
වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ වරයා මෙම භාණ්ඩ ආනයනය කිරීමේ තීරණය ගෙන තිබෙන්නේ ස.තො.ස ආයතනයේ ප්‍රසම්පාදන කමිටුව බවත් ණයවර ලිපිය විවෘත කර තිබෙන්නේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අංජන නිශ්ශංක නමැත්තා බවත් සඳහන් කළා.
එසේම අදාළ භාණ්ඩ සැපයීම සඳහා සැපයුම් කරුවන් තුන් දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර ඉන් අඩුම ලංසුව ඉදිරිපත් කළ ඉන්දීය සැපයුම්කරු තෝරාගෙන තිඛෙන්නේ ප්‍රසම්පාදන කමිටුව විසින් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම ක්‍රියාවලියට සිය සේවාදායක විත්තිකරු සම්බන්ධ වී නොමැති බවත් කියා සිටියා.
මෙසේ ආනයනය කළ ක්‍රීඩා භාණ්ඩ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ මෙහෙයවීමෙන් භාරගෙන ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා සිය සේවා දායකයා මෙම ක්‍රීඩා භාණ්ඩ පාසැල් වලට හෝ ක්‍රීඩා සමාජ වලට බෙදා දුන් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවත් සඳහන් කළා.
මෙම ක්‍රියාදාමයට සම්බන්ධ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයින් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොපවත්වා මෙම විත්තිකරුවන් පමණක් ඉලක්ක කර ගනිමින් ඔවුන් කොටුකර ගැනීමේ අරමුණින් පමණක් මෙම විමර්ශන මෙහෙයවා තිබෙන ආකාරයක් පෙනී යන්නේ යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මෙය සම්පූර්ණයෙන්ම 2015 වසරේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුවේ මෙහෙයවීම මත සිදු කළ දේශපාලනික විමර්ශනයක් බවත් සඳහන් කළා.
මහාධිකරණ නඩු තීන්දුව පිටු 87 කින් සමන්විත බවත් ඒ තුළ මුද්‍රණ දෝෂ රාශියක් අන්තර්ගතව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා මේ හේතුවෙන් අදාළ නඩු තීන්දුව අධ්‍යයනය කිරීමේදී තමා දැඩි අපහසුතාවයකට මුහුණ දුන් බවත් සඳහන් කර සිටියා.
ඒ අනුව තම සේවාදායකයා අදාළ චෝදනා වලට වරදකරු කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීරණය සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවත් ඔහු තර්ක කළා.
ඉන් අනතුරුව වැඩිදුර අභියාචනා විභාගය හෙට දින දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර  එම කාර්යාලවලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරා තිබුණා.
එම නඩුව විභාග කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාල චෝදනාවට විත්තිකරුවන් වරදකරු කරමින් මහින්දානන්ද අලුත් ගමගේ මහතාට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දු මහතාට බරපතල වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් නියම කළා.
එම දඬුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම හිටපු අමාත්‍යවරු විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.