2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම්බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන මහත්වරුන්ට විරුද්ධව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මාර්තු මස 25 වන දා දක්වා කල් තබන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා.

මෙම මූලික විරෝධතා පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරුවරු බුද්ධික සී රාගල මහතා සඳහන් කළේ මෙම මූලික විරෝධතා පිළිබඳව නියෝගය සූදානම් නොමැති බවත් එය ප්‍රකාශ කිරීම මාර්තු මස 25 වනදා දක්වා කල් තබන බවයි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් සතොස ආයතනය හරහා ආනයනය කර  එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ , නලින් ප්‍රනාන්දු සහ ඇප මත මුදල් සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.