සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ 5 කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සිව් වන තරගයද ජය ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු දෙකක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 221ක්.

ස්මිත්‍රී මන්දනා පන්දු 48කදී ලකුණු 80ක් රැස් කළා.

ෂෆාලි වර්මා පන්දු 46කදී ලකුණු 79යි. පන්දු යැවීමේදී මල්ෂා ශෙහානි සහ නිමාෂා මීපගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 222ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 191ක් පමණයි.

නායිකා චමරි අතපත්තු ලකුණු 52ක් රැස් කළා.

හසිනි පෙරේරා ලකුණු 33කට සහ ඉමේෂා දුලානි ලකුණු 29කට දැවී ගියා.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 20යි.

ඒ අනුව දෙරට අතර පැවති සිව්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයද ලකුණු 30කින් ජය ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

පූර්ණ තරඟාවලි පරාජයකින් මිදීමට නම් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර හෙට පැවැත්වෙන තරඟය අනිවාර්යෙන්ම ජය ගත යුතු වනවා.