මෙවර යල කන්නයේදී ගොවි ජනතාවට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයිය හැකි අන්දමින්, වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවත්වාගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යයාංශය සහ පෞද්ගලික සමාගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් සහ පොහොර ආනයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් සැපයුම් ජාලවලට එල්ල වී ඇති බාධා හමුවේ මෙවර යල කන්නයේ වී වගාව සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සහ ඒ වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
2026 යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහමාරක් අස්වැද්දීමටයි සැලසුම් කර ඇත්තේ. වී වගාව සඳහා යූරියා මෙටි්රක් ටොන් 83,000ක් සහ අනෙකුත් වගා සඳහා මෙටි්රක් ටොන් 42,000ක් බැගින් යූරියා මෙටි්රක් ටොන් 125,000ක් මෙවර යල කන්නය වෙනුවෙන් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබෛනවා.
යල කන්නය ආරම්භ වූ මාර්තු පළමුවන දා වන විට සමාගම් සතුව මෙටි්රක් ටොන් 95,000ක් සහ බෙදාහරින්නන් සතුව මෙට්රිමක් ටොන් 7,000ක්ද ලෙසින් යූරියා මෙටි්රක් ටොන් 102,000ක් පැවති නමුත් පසුගිය සති දෙක තුන තුළ එයින් මෙටි්රක් ටොන් 27,000ක් පමණ නිකුත් කර තිබෙන බවත්, ඒ අනුව මාර්තු 17 වනදා වන විට සමාගම් සතුව ඉතිරිව ඇත්තේ යූරියා මෙටි්රක් ටොන් 68,000ක් පමණක් බවත් මෙහිදී සඳහන් කෙරුණා.
පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී මෙම මාර්තු මාසයේදී නිකුත් කිරීමට නියමිතව තිබුණේ යූරියා මෙටි්රක් ටොන් 11,000ක් පමණක් වුවද පොහොර හිඟයක් ඇතිවනු ඇති බවට වූ මතයෙන් පොහොර තොග රැස් කිරීම නිසා මෙටි්රක් ටොන් 27,000ක් අළෙවි වී තිබෙන බවයි මෙහිදී අනාවරණ වුණේ.
එමෙන්ම, තවත් යූරියා මෙටි්රක් ටොන් 77,000ක් ඇනවුම් කර තිබූ බවත්, එයින් 37,000ක් මැදපෙරදිග රටවලින් පැමිණීමට නියමිතව තිබූ හෙයින්, ඒ පිළිබඳ අවිනිශ්චිතතාවක් පැවතියද, ඉතිරි මෙටි්රක් ටොන් 40,000න් මෙටි්රක් 21,000ක් මෙම මාර්තු මස අගදී හෝ අප්‍රේල් මස මුලදී මෙරටට පැමිණීමට නියමිත බවද තහවුරු කර තිබෙනවා.
අවශ්‍ය ඉතිරි පොහොර තොග ආනයනය කිරීමේ සැලසුම් මෙන්ම ඉදිරි මාස 03ක් සඳහා ප්‍රමාණවත් පොහොර සංචිත නිසි කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ඒ අනුව, ඉදිරි මාස 03 සඳහා අවශ්‍ය පොහොර සංචිත වෙළෙඳපොළ තුළ පවත්වාගෙන යාම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මෙහිදී පොහොර සමාගම් ජනාධිපතිවරයා වෙත එකඟතාව පළ කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා.



