මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වූ ඩේසි ෆොරස්ට් නමැත්තිය, ‘ඩිමෙන්ෂියා’ ඇතුළු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් ඇයට එරෙහි අධි චෝදනා පත්‍රය අධිකරණය හමුවේ පවත්වාගෙන යාම පදනම් විරහිත බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද ප්‍රකාශ කළා. ඒ, අදාල නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළා.
මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී විත්තිකාර ඩේසි ෆොටෝස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායිකාව ‘ඩිමෙන්ශියා’ සහ ‘ඇල්සයිම’ යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන තැනැත්තියක් බැවින් එම තත්ත්වය මත මෙම චෝදනාව පවත්වාගෙන යාම පදනම් විරහිත බවයි.
සිය සේවාදායිකාව වයස අවුරුදු 98ක වයෝවෘද්ධ තැනැත්තියක් වන අතර ඇයගේ පෞද්ගලික කටයුතු පවා ඇයට තනිවම කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළා.
වර්තමානයේ ඇයට තිබෙන මානසික තත්ත්වය අනුව මෙම වරද සම්බන්ධයෙන් හෝ අධිකරණය සම්බන්ධයෙන් ඇයට දැනීමක් නොමැති බවත් මෙම වරද පිළිගැනීම හෝ නොපිළිගැනීම සම්බන්ධයෙන් ඇයට දැනුම් තේරුමක් නොමැති බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එහිදී පැවසුවා.
2017 වසරේ මාර්තු 17 වනදා ගංගොඩවිල දිසා අධිකරණයෙන්ද සිය සේවාදායිකාවට ඇගේ පුද්ගලික කටයුතු ස්වාධීනව කර ගැනීමේ හැකියාවක් නෙැමැති බැවින් ඇයගේ දේපළ භාරකාරීත්වය වෙනත් අයකුට පවරන ලෙස නියෝගයක් නිකුත් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරා එහිදී පෙන්වා දුන්නා. අධිකරණ වෛද්‍ය වාර්තාවක් පදනම් කරගෙන අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර එම රෝගී තත්ත්වය යථා තත්ත්වයට පත්වීමේ හැකියාවක් නොමැති බවට වෛද්‍යවරු විසින් දැනුම් දී ඇති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.
මෙම තත්ත්වය යටතේ සිය සේවාදායිකාවට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් සලකා බැලිය යුතු බවට ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියයේ මෙවැනි කරුණක් අධිකරණයට ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය බවයි.
විත්තිකාරිය වයස අවුරුදු 98ක තැනැත්තියක් වන අතර ඇයට තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව පැමිණිල්ලට පිළිගත හැකි වුවත් දිසා අධිකරණය දුන් නියෝගයකට අනුව මෙම අධිකරණය කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ඒ පිළිබඳව මෙම අධිකරණයට යළි කරුණු සලකා බැලීමට හැකියාව තිබෙන බවත් මෙම විත්තිකාරිය සම්බන්ධයෙන් යළි වෛද්‍ය වාර්තාවක් කැඳවීමට අවශ්‍ය දැයි සලකා බැලිය යුතු බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ සඳහා කාලය අවශ්‍ය බව පැවසුවා.
මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම වෛද්‍ය වාර්තාව වසර අටකින් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ ඇයි දැයි විමසුවා.
මෙම නඩුකරය මුලින් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර මෙවැනි වැදගත් ලේඛනයක් එම අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයි දැයි ප්‍රශ්න කළ මහාධිකරණ විනිසුරුවරයා මහේස්ත්‍රාත් අධිකරණයේදී විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ නියෝජනයක් තිබු නිසා අදාල ලේඛනය එම අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව තිබූ බවත් සඳහන් කළා.
මෙවැනි ලේඛනයක් මහේස්ත්‍රාත් අධිකරණයට විත්තිය විසින් ඉදිරිපත් කළේ දැයි අධිකරණය හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් විනිසුරුවරයා විමසූ අතර ඔවුන් සඳහන් කළේ එවැනි ලේඛනයක් ඉදිරිපත් නොවූ බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා දෙවෙනි විත්තිකාරිය පිළිබඳ පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුව ලබන 26 වනදා කැඳවන ලෙස නියෝග කළා.