පොලීසිය සිදු කරන මෙහෙයුම් අතර ප්‍රධාන තැනක් ගන්නා මෙහෙමුමක් තමයි රටම එකට ජාතික මෙහෙයුම.

පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව එම මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වනදා සිටයි.

එම මෙහෙයුම යටතේ රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම සිදු කෙරෙනවා.

ඒ යටතේ තවත් මෙහෙයුමක් ඊයේ දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක වුණා.

ඒහිදී වැටලීම් 952ක් සිදු කර සැකකරුවන් 941 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඒ අතර සිටි සැකකරුවන් 21 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.

තවත් සැකකරුවන් 06 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කළ බවයි පොලීසිය පැවසුවේ.

එම මෙහෙයුම්වලදී ගංජා කිලෝ 31යි ග්‍රෑම් 776ක් සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග රැසක්ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර, නීතිවිරෝධී මත්පැන් බෝතල් 109ක් සන්තකව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත මීරිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් බජ්ජංගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එහිදී නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා අයත් බැරල් 06ක් මෙන්ම මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි මීරිගම පොලිසිය පැවසුවේ.