ලෝක වෙළදපොලේ රත්රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව මෙම වසර ආරම්භයේ පැවති රත්රන් මිල මේ වනවිට සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඉරානයට එරෙහිව මිලටරි ක්‍රියාමාර්ග ගන්නා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනාත්මක ප්‍රකාශය මධ්‍යයේ ලෝක වෙළදපොලේ රත්රන් මිල එලෙස නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
රත්රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගියේ මීට දින තුනකට පෙරයි.
මීට සාපේක්ෂව දේශීය වෙළදපොලේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 15,000 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වෙළදපොල වාර්තා අනාවරණ කළේ.
ඒ අනුව කැරට් 24ක රන් පවුමක් මේ වනවිට රුපියල් හාර ලක්ෂ 20,000ක් පමණ වන අතර කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් තුන් ලක්ෂ 86,000 සීමාව ඉක්මවා තිබෙනවා.
ලෝක ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතාව රත්රන් මිල ඉහළ යාමට ප්‍රබල ලෙස බලපා තිබෙනවා.
පසුගිය වසරේදී අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් යළි පත්වීමෙන් පසු ඔහු විසින් ගනු ලැබූ ආන්දෝලනාත්මක තීරණ හේතුවෙන් ලෝක ආර්ථිකයේ ඇති වු අවිනිශ්චිතතා හේතුවෙන් රත්රන් ඉල්ලුම දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව 2025 වසරේදී පමණක් ලෝක වෙළදපොලේ රත්රන් මිල සියයට 64කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.




