රක්‍ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහර බන්ධනාගාරයේ රදවා තිබෙනවා.

එම බන්ධනාගාරයේ රෝහලට අයත් වාට්ටුවක තවත් රැදවියන් 200 කට අධික පිරිසක් සමග ඔහු රැද වූ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

මහර බන්ධනාගාරයට රැගෙන එන නවක රැදවියන් පළමුව එම බන්ධනාගාර රෝහලට අයත් 7 සහ 8 යන වාට්ටු දෙකේ රදවනු ලබනවා.

සතියක් පමණ කාලයක් එහි රදවා තැබීමෙන් අනතුරුව ඔවුන් වෙනත් වාට්ටුවකට මාරු කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ලබන 9 වනදා දක්ව රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.

මේ අතර රක්‍ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලේ එකේ වාට්ටුවේ රදවා සිටිනවා.

අධිකරණය ලබාදුන් නියෝග මත ඔහු එම බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

කෙසේවෙතත් ඔහුට කිසිදු විශේෂ පහසුකම් ලබා දී නැහැ.

අද දිනයේ වෛද්‍ය සායනයක් සදහා ඔහු රාගම රෝහල වෙත රැගෙන යාමට නියමිත බවද බන්ධනාගාර ආරංචි පැවසුවා.