රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් අද දිවයිනට පැමිණියා.

ඒ, තෙදින නිල සංචාරයක් සදහායි.

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සමග තවත් නිලධාරීන් දෙදෙනෙකුද දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

ඛණිජ තෙල් හා ගල් අඟුරු සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිදු කිරීම සදහා එම පිරිස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සිය නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද දිනයේ දිවයිනට පැමිණිමට නියමිත බව වාර්තා වුණා.

ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සිදුකරන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන සම්පූර්ණ කිරීමේ අරමුණින් ප්‍රතිපත්තිමය සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම පිරිස එලෙස දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔවුන් අප්‍රේල් 9 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින බවයි වාර්තා වුණේ.

මෙම සංචාරය අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරට බලධාරීන් සමඟ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව මෙන්ම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.