අම්බලන්තොට කතරගම මාර්ගයේ වීරවිල තුරුසෙවන මංසන්ධිය ආසන්න ප්රදේශයේ දී අද සිදුවූ මාරක රිය අනතුරෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මිය ගියා.
ඒ අතරට භික්ෂුන් වහන්සේ නමක් සහ කාන්තාවෝ තිදෙනෙකු ඇතුළත්. තුවාල ලැබූ 40 දෙනෙකුට ආසන්න පිරිසක් තවදුරටත් ප්රතිකාර ලබමින් ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු පවසනවා.
ඒ, දෙබරවැව සහ හම්බන්තොට යන රෝහල්වලයි.
තුවාලකරුවන්ගෙන් 22 දෙනෙකු හම්බන්තොට මහ රෝහලට හා 10 දෙනෙකු දෙබරවැව රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඉන් 12 දෙනෙකු හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි රෝහල් ප්රකාශකයෙකු කියා සිටියේ.
කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ ගාල්ල සිට කතරගම බලා එමින් තිබූ ලංගම බස් රථයක් වීරවිල අඳල්ල තුරුසෙවන සීමාව අසලදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙම ප්රදේශයේ මාර්ගය අසල කුඹුරුයායේ පිදුරු ඉපනැල්ලට ගිණි තබා ඉන් නැගී ආ දුමාරුවට මාර්ගය අපැහැදිලි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ.





