ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, වන අලි ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි.
එහිදී වන අලි ගැටලුව බහුලව පවතින අනුරාධපුර, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
එයට අදාළව ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින ගැටලු දිසාපතිවරු විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු, රථ වාහන අවශ්‍යතා සහ රාජකාරී කර ගෙන යාමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
වන අලි ගැටලුව විසඳීමේ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ජනතාව සමඟ සමීපව එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව එම කටයුතු සිදු කිරීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත කමිටු ඉදිරි මාසය තුළ පත් කිරීමටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
දැනට වනජීවී දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස සිවිල් ආරක්ෂක නිලධාරීන් නිශ්චිත පුහුණුවක් සමඟ වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටත්, ඊට අදාළ නීති සම්පාදනය කිරීමටත් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
වන අලි ගැටලුව විසඳීමට, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දැනට ගෙන යන මෙහෙයුම් වඩා විධිමත් සහ කාර්යක්ෂම කිරීමටද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.