වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය ගන්වමින් කප්පම් ලබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 යි මිලි ග්‍රෑම් 620 ක්ද සොයාගෙන තිබෙනවා.

ඔහු අම්බලන්ගොඩ, ගන්දර, රත්නපුර, හොරණ, පානදුර, මාරවිල සහ ත්‍රීකුණාමළය යන ප්‍රදේශවල හෝටල්, අවන්හල් හිමියන් ඇතුළු ව්‍යාපාරිකයින් බිය ගන්වමින් කප්පම් ලබා ගෙන ඇති බවට අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනාවන් රැසකට මීට පෙර රක්‍ෂිත බන්ධනාගාරගතව සිට ඇති බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.